Wednesday, February 22, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |



  
වැස්ස තාමත් ඉවරයක් නෑ. පළාතම හේදෙන්නද කොහේද දෙක වෙන්න වහිනවා. බාගෙට දිරලා ගියපු බස් හෝල්ටෙකේ මුල්ලකින් ට්‍රැවලින් බෑග් එක තියලා මං ඒක උඩින් වාඩිවුණා. කලින් ආපු ප්‍රයිවෙට් කබලෙ හිරවෙලා ඇවිත් කොන්දත් එක්ක රිදෙනවා. කවදා බස් එකක ගියපු ගමනක්ද..? යන්න තියෙන්නෙත් තව ටික දුරයි. ඒක යන්න විදියක් නැති වුණාම මුළු ඇගේම මාලු නටනවා. ඇයි දෙයියනේ මේ පැත්තෙ එක බස් කට්ටක්වත් නැද්ද..? අඩුම ගානේ ත්‍රීවිල් එකක්වත්...? ශිහ්... තරුමෙ කියන්නෙ තාත්තිත් එක්ක කොක්ක දාගත්තෙ අන්තිම නරක වෙලාවක. එහෙන් පැලෙන්න වහිනවා. මෙහෙන් යන්න විදියක් නෑ. බයික් එකවත් අරන් ආවා නම් තෙමි තෙමී හරි යන්න තිබ්බා. තියෙන තදියමට ඒකත් අමතක වුණානේ. ටිකකින් මගේ තනියට වාගේ වයසක පහේ මනුස්සයෙක් අර මහා වැස්සෙ ආසාවට වගේ තෙමි තෙමී ඇවිත් බස් හෝල්ට් එක අස්සට රිංගුවා. මිනිහගෙ ඇගේ තෙමිච්ච නැති තැනක් හොයන්න අමාරුයි. ටිකකින් ඒ මිනිහා කලු පත සුරුට්ටුවක් එළියට අරන් ඒක උරන්න ගත්තා. වැඩිම උනොත් තත්පරයක් දෙකක් යන්නැති.. සුරුට්ටු දුමෙන් මුළු පලාතම පිරිලා ගියා..


"මූ කක්කුස්සියක් කඩලා බොනවද දන්නෙ නෑ.. මේ තරම් ගද."

තරහා වැඩි කමට හිතට හිතෙන්නෙත් ගද ගහන ඒවම තමයි. තාමත් බස්සෙකක් පේන මානෙකවත් නෑ. මෙලහකටත් 'නවෝදි' ගෙදර ඉදන් මං එනකන් බලාගෙන ඇති. දැන් දෙකේ කෑලිත් නෑ. ආයෙ හෝදන්න දෙයක් නෑ. ඒකි අපේ හත්මුතු පරම්පරාවම මතක් කරනවා ඇති. ඒ ඔක්කොම හරි මේ යකාගේ සුරුට්ටු ගද හින්දා ඔලුවත්තෙක්ක කකියනවා.

"ෂිකට ෂිකේ.. නගර සභාවෙන්වත් ඇවිත් දෙකක් ඇනලා මූව අරන් යන්නෙ නැති එකනේ වැඩේ කියන්නේ.."

මූණු පුළුවන් තරම් හතරැස් කරගෙන මං ඒ වයසක මනුස්සයා දිහා බැලුවා. මගේ බැලිල්ලටවත් මූ සුරුට්ටුව බොන එක නැවැත්තුවොත්.. කොහෙද.. මං දිහා හොදට බලලා මිනිහා ආතල් එකේ සුරුට්ටුව දිගටම අදින්න ගත්තා.. මූට ගහනවද නැද්ද..? මං ඩිංගක් කල්පනා කරා. තව එක ඩම් එකක් හරි ඇද්දොත්, ගැහුවා.. සලාං.. බලාං.. තමයි.

"මහත්තයා වෙලාව කීයද..?"

ඒ හඩ ආවෙ කොහෙන්ද කියලා මට මුලින් තේරුනේ නෑ. වැස්ස හින්දම සද්දෙත් අඩුවෙලා. මං අර මිනිහා දිහාවට හැරුණා. පොර ඇහිපිල්ලමක්වත් ගහන්නැතුව මං දිහා බලන් ඉන්නවා. තැනින් තැන සුදදුපාට වෙලා තිබ්බ රැවුල් කොටයි, සුරුට්ටුම බීලා කලුපාට වෙච්ච තොල් දෙකයි, බුලත් විටම හපලා පඩික්කමක් වචේච කටයි, මිනිහගෙ තිබ්බ මුස්පේන්තුකමයි මට පෙන්නුවෙ සතර පෙර නිමිති.

"මේකෙ වෙලාව නැවතිලා..."

මං කියලා දැම්මා. මූ නිකං වෙලාව ඇහුවෙ ප්‍රවෘත්ති සාකච්ඡාවකට යන්න වගේනේ.. හම්පඩයා.

"වෙලාව නැවතිලා නම් ඇයි මහත්තයෝ ඕක බැදගෙන ඉන්නේ..?"

කහට ගැහිච්ච දත් සෙට් එක විරිත්තලා මිනිහා මගෙන් ඇහුවා.. මට නේද.. ආපු කේන්තිය ගැන කියන්න වචන නෑ..

"මුගේ වයස හින්දා ඉවසන්න වෙනවා.. මෙච්චර නාකි වෙලත් මූ ගේම ඉල්ලන එකනේ වැඩේ.." 

මූ දිහා බැලුවොත් මූට ගහන්නමයි හිතෙන්නේ.. නාකි වුනාට ඌට තිබ්බෙ ගුටි කන මූණක්. මං පොර දිහා බැලුවා. ඒ පාර නම් දෙයියො බැලුවා වගෙ බසයක් පාරෙ එහා කොනෙන් මතුවෙනවා මං දැක්කා.

"තව ඩිංගක් වෙලා හිටිය නම් මූ මගෙන් ගුටි කාලා මට පොලීසි ගානෙත් රස්තියාදු වෙන්න වෙනවා.."

බස්එකට නගින ගමන් එහෙම හිතලා මං මිනිහා දිහා බැලුවා. කිසිම ගින්නක් නෑ වගේ මිනිහා ආතල් එකේ සුරුට්ටුව අදිනවා මං දැක්කා. බස් එකෙන් බැහැලා ගිහින් ඌට දෙකක් අනින්න තරම් මට හිතුනා. ඒත් ඉතින් බස් එකක් එන්නේ හුග වෙලාවකින් හින්දා මං වැඩේ අතෑරලා දැම්මා.

                                                 ***************************

නවෝදිගෙ ගෙදරට මං යනකොට හතර විතර වෙලා. එතකොට වැස්ස පායලත් ඉවරයි. මාව දැක්ක ගමන් නවෝදිගෙ මූණට ආවෙ ලොකු හිනාවක්. ඒ මූණේ තියෙන හුරතල් කම..

"හොදයි ආපු වෙලාව.. මං කීයෙ ඉදන්ද බලන් ඉන්නේ..?"

මගේ ට්‍රැවලින් බෑග් එක අතට ගන්න ගමන් නවෝදී කිව්වා. අර හිනාව මැද්දෙන් ලොකු නෝක්කාඩුවක් ඒ මූණෙ පායලා.

"කීයෙ ඉදන් හිටියත් මට කමක් නෑ හරී.. බස් නැත්තනං මට මැරෙන්නද කියන්නේ..?"

"උඹ ඔය ආපු ගමන්ම මාව කුලප්පු කරන්නයි හදන්නේ.. ඔන්න අම්මියි, මායි උඹට උඩ කාමරේ ලෑස්ති කරා.. උඹ කැමති විදියටම.."

මම මහන්සියෙන් හෙම්බත් වෙලයි තිබුනෙ. දන්න කියන කාලෙක මෙහෙම ලෝඩ් වෙච්ච බස්සෙකක ඇවිත් තිබුණෙ නෑ. සාලෙ මැද්දෙම වගේ ළගදි ගත්තු නවෝදිගේ කැබිනට් ප්‍රමාණේ ජායාරූපයක් තියලා තිබුනා.

"මං එහෙනම් හිත රිද්දගෙන අන්තිමට ආවෙ මෙහෙට.. ඊට පස්සේ..?"

නවෝදිගෙ පොටෝ එක දිහා බලන් ඉන්න ගමන් මං දිගටම හිතුවා. හිටපු ගමන් කතාබහත් නැවතුන හින්දා කොහෙද නවෝදිත් අවුල්වෙලා හිටියෙ.

"උඹ හුගක් කල්පනා කරනවා අනගි.."

"ඒක නෙමේ මොකද අම්මි පේන්න නැත්තේ..?"

නවෝදිගෙ ප්‍රශ්නෙ මග හරින හොදම ක්‍රමේ මං දැනගත්තා.

"උඹට කෑම එහෙම හදලා තියලා වොෂ් එකක් දාගන්න ගියා.. උඹ කාමරේට පලයංකෝ.. මං අම්මි එක්ක එන්නම්.."

ට්‍රැවලින් බෑග් එක නවෝදිගෙන් ආපහු අරගෙන මං පඩිපෙල නැග්ගා. හිත ඇතුලෙ තිබ්බ නොසන්සුන්කම හින්දද කොහෙද මට ලොකු මහන්සියක් නැදුනා. නගින්න තිබුණු පඩියෙත් ටිකක් නගින්න මට අමාරු වුනා. ඒ හින්දමයි සිමෙන්ති පඩියක් උඩින් මම වාඩිවුනේ. තාත්තිත් එක්ක රණ්ඩුවෙලා මං මේ ආවේ එන්න ඕන ගමනක්ද කියලා මට හිතුණා. මෙහෙම ගියොත් නවෝදිත් මං හින්දා අමාරුවෙ වැටෙනවා..

"ආ... අනගි මොකද මේ...? උඹට මහන්සිද..?"

පඩිපෙළ පහලින්ම නවෝදි මතුවුණා. සිනා මලක ආරම්භය පටන් අරන් තියෙන ඒ මුණ දිහා මං  බලන් හිටියෙ ආසාවෙන්. හෙමින් සීරුවෙ මං ළගට ඇවිත්, නවෝදි එයාගේ දකුණු අත මට දික්කරා. ඒ අතේ එල්ලිලා මං හිටගත්තා.

"මොකද බං මේ මූණෙ හැටි.. ඩිංගක් හිනාවෙලා ඉදපංකෝ.."

උඩ කාමරේට මාවත් තල්ලුකරගෙන යන ගමන්. නවෝදි කිව්වා.. තනි ඇදකින්, බිත්ති කබඩ් එකකින්, ලොකු මේසෙකින් තවත් අත්‍යවශ්‍ය බඩු ගොඩකින් ඒ කාමරේ පිරිලා තිබ්බා. කාමරේ ඇතුලෙ තිබ්බ පිළිවෙලා හින්දම මගේ හිතට ආවේ ලොකු සතුටක්.

"උඹ හුගක් මහන්සිවෙලා තියෙනවා.."

"උඹ මට කරලා තියෙන උදව් වල හැටියට එහෙම නැතුව බෑ.. හ්ම්.. දැන් හොද එකා වගේ චේන්ජ් එකක් දාගනිං. ආ.. ඔය අම්මිත් එනවා ඇහෙන්නෙ.."

මං දොර දිහා බැලුවා. මූණ පුරාම ලොකු හිනාවක් රදවගෙන දොර ගාව හිටියෙ නවෝදිගෙ අම්මා.

"කොහොමද පුතා..? හුගක් මහන්සි පාටයි වගේ කියලා නම් පේනවා. අපේ එක්කෙනා නම් උදේ ඉදන්ම බලන් හිටියෙ හැබැයි පුතාට දැන් තමයි කනක් ඇහිලා ඉන්න නැතිවෙන්නේ.."

නවෝදි දිහා බලලා ඇන්ටි කිව්වා. හිත සන්සුන් නැති වෙලාවෙ ප්‍රශ්න අහන්නැතුව ඉන්න තරමෙ හොද පුරුද්දක් ඇන්ටිට තිබ්බා. ඇත්තටම ඇන්ටි මං ගැන හුගාක් දේ තේරුම් අරගෙනයි තිබුණෙ. අම්මගෙ ආදරය පුංචි කාලෙදිම නැතිවුණ මට නවෝදිගෙ අම්මගෙන් ලැබුණු ආදරය රටකටත් වැඩිය වටිනාකමක් තිබ්බෙ ඒකයි.. නවෝදිත් අම්මත් කාමරෙන් ගියාට පස්සෙ මං බාත්රූම් එකට රිංගගත්තා. විනාඩි හතලිහක් විතර වතුරත් එක්ක සෙල්ලම් කරලා මං කාමරේට එද්දි මෙන්න නවෝදි ඇද උඩ.

"උඹ හුගක් කෙට්ටු වෙලා අනගි."

නවෝදිගෙ කටහඩේ මහ දුක්බර ගතියක් තිබුනා. මගේ  හිත ඒ විත්තිය අදුනගත්තත්. ඊළගට කියන්න ඕන මොනවගේ දෙයක්ද කියලා මට තෝරබේරගන්න බැරුව ගියා.

"කෙට්ටු වුණ එක නම් ඒ තරම් අවුලක් නෑ බං. දවස් දෙක තුනක් හොදට කෑවා නම් ඇග හැදෙයි. උඹ දන්නෙ නෑ නවෝදි.. හිත රිදෙන හුගක් දේ වුණා. ගොඩක් ඒවා විදදරාගන්න අමාරු ඒවා."

නවෝදිගෙ ඇස්දෙක ලොකු වෙනවා මං දැක්කා. ඒ තොල්පෙති මොනවා හරි කියන්න උත්සාහ කරනවා කියනඑක මට තේරුනා. ඒත් එයා මොකුත්ම කිව්වෙ නෑ. ඒක හින්දා මං නවෝදි ළගින්ම ඇදේ වාඩි වුණා..

"මගේ හිතට හිතෙන දවසක් වෙනකන් මම මෙහේ ඉන්නවා. උඹේ අම්මයි, තාත්තයි ඒ ගැන කොයි විදියට බලාවිද කියලා මං දන්නෙ නෑ. මං ඉන්නවට, කනවට, බොනවට මං උඹට සල්ලි දෙනවා.. හැබැයි.."      
එතනින් එහාට වචනයක්වත් කියන්න හම්බ වුණේ නෑ.. නවෝදිගෙ රෝස පාට ඇගිලිවලින් මගේ කට වැහුණා. 

"උ.. උඹ හදන්නෙ මාව අඩවන්නයි අනගි.. හැමදාම උඹ ඔහොමමයි. ආවොතින් එදාට මාව අඩවනවා. උඹට ඕන තරම් කල් මෙහේ ඉන්න පුළුවන් විත්තිය දැන දැනත් සල්ලි කතා අදින්නෙ ඇයි අනගි. මගේ අම්මයි, තාත්තයි ගැන උඹ හොදට දන්නවනේ. මං කරන කියන දේකට එයාලා කවදාවත් විරුද්ධ වෙලා නෑ කියලා. දැන් මට හොද එකා වගේ කියපං මොකක්ද ප්‍රශ්නෙ කියලා. තාත්තිත් එක්ක ආයෙත් අවුලක්ද..?"

නවෝදිගෙ ඇස් තිබ්බෙ මගේ මූණෙ. රතු පාටට හැරිලා තිබ්බ ඒ සොදුරු ඇස් දෙක දැක්ක ගමන් මගේ හිතට ආවෙ ලොකු පසුබෑමක්. දුක ඉස්සරහා ලොකු පවුරක් වගේ ඉන්න මේ පුංචි කෙල්ල ගැන මගේ හිතේ තිබ්බෙ ලොකු ආදරයක්.

"උඹ ගැන මං හුගක් දේ දන්නවා. මං වටේ ඉන්න කොල්ලො ගැන්සියත් මං ගැන හුගත් දේ දන්නවා.. ඒත් උඹවත්, කොල්ලො ගැන්සියවත් නොදන්න හුගක් දේ තව තියෙනවා.. හැමෝම හිතන්නෙ මං මේ තරම් සතුටෙන්, සනීපෙන් ඉන්න එකෙක් මුළු ලංකාවේ කොහේවත් නෑ කියලා. ඒත්.. සල්ලිවලට කරන්න බැරි දේවල් හුගක් තියෙනවා කියලා ඩිංගෙන් ඩිංග මගේ හිතට තේරෙද්දි මගේ හිතට සතුටක් එන්නෙ කොහොමද.. බං..?"  

මෙච්ච වෙලා උරහිස උඩ තිබ්බ තුවාය මං ටවල් රැක් එකට විසි කලා. හිත ඇතුලේ පැසව පැසව තියෙන මේ තුවාලෙ කවදා හොද කරන්න පුළුවන් වේවිද කියලා මං දැනන් හිටියෙ නෑ. ඒත් තමන්ගෙ ජීවිතේ හුගාක් දේවල් කාත්තෙක්ක හරි කියලා තියෙනවා නම් ඒ දේට පස්සේ හරි වටිනාකමක් ලැබෙනවා කියලා මං දැනන් හිටියා.

"තාත්ති මට ප්‍රපෝසල් එකක් ගෙනල්ලා."

මගේ කටහඩේ තිබ්බ කලකිරීම නවෝදිගේ හිත ඇතුලටම වැදුනා කියලා මට දැනුනා..

"උඹ මොකද කිව්වේ...?"

"කියන්න තරම් දෙයක් මට තිබ්බෙ නෑ. තාත්ති හදන්නෙ මාව කරත්තෙට බැදපු ගොනා වගේ කොටු කරලා දාන්න. එතකොට එයා නිදහස් නේ. එයාට පිට ලෝකෙට කියන්න පුළුවන් නෙ, මගේ එකම පුතාට මං පුළුවන් තරම් ඉහළ තැනකින් කටයුත්තකුත් කරලා දුන්නා කියලා. මං මොනවද මගේ දරුවට නුදුන්නෙ කියලා එයා හැමෝගෙන්ම අහවි. මං හැමදේම මගේ දරුවට දීළා තියෙනවා.. යාන වාහන, දේවළ, ඉඩකඩම්, ඇති තරම් සල්ලි.. එත්.. ඒත්...?"

කියාගෙන කියාගෙන ගිහිල්ලා  මං නැවතුනේ හති අරින්න.. නවෝදිගෙ ඇස් දෙක ලොකු වෙලා. කියාගන්න බැරි තරම් දුකක් ඒ මූණ මැදට ඇවිල්ලා තිබුණා.. 

"ඔ.. ඔය මං කියපුවා ඔක්කොම ඇත්ත.. තාත්ති මිනිස්සුත් එක්ක ඔහොම කියනවා මගේ කන් දෙකටම ඇහිලා තියෙනවා. ඒත් මට තාත්ති දුන්නෙ නැති එකම දෙයක් තියෙනවා. නවෝදි.. මං ඒ ගැන මීට ඉස්සරත් කියලා තියෙනවා. පුතෙක්, තාත්තා කෙනෙක්ගෙන් බලාපොරෝතු වෙන ආදරේ එයා මට දුන්නෙ නෑ. ඒ දේ ආයෙ මට හම්බ වෙන්නෙ නෑ කියලා මං දන්නවා.. උඹ දන්නෙ නෑ මට හොදට මතකයි. ඔව්.. හොදට මතකයි.. මගේ අම්මා මාව බලා ගත්තෙ මලක් වගෙයි.. ඒත් මට අවුරුදු හතරක් වෙද්දි මගේ අම්මට මාව දාලා යන්න සිද්ධ වෙන තැනට මගේ තාත්ත වැඩ සිද්ධ කරා.."

ලතාවකට උස් පහත් වෙන නවෝදිගේ ළය මඩලින් ඇස් අහකට අරන් මං එයාගෙ මූණ දිහා බැලුවා. ඒ ඇස් දෙක තෙත්වෙලා තියෙනවා මං දැක්කා.

"සල්ලි වලට හැමදේම කරන්න බෑ කියලා උඹලගෙ තාත්තට තේරෙන්නෙ නෑ අනගි. ඒක වෙන්නැති ඔහොම හැසිරෙන්නෙ.. මං ඒත් පුදුම වුණා අර තරම් වාහන තියාගෙන උඹ බස් එකක ආවා කිව්වාම.."

නවෝදි ඉස්සරහ පෙල ගහන්න හුගක් දේවල් තිබුණ හින්දා මං ටිකක් නිහඩ වුණා. ඒ හැමදේම සීරුවට ගොනු කරගන්න ඕන හින්දා. හිත ඇතුලෙ මේ කැකෑරී කැකෑරී තියෙන දේවල් කවුරු ඉස්සරහ හරි එළියට දාන්න ඕනේ කියලා මට හිතිල තිබ්බෙ අද ඊයෙක නෙමෙයි.

"වෙන මොකවත් හින්දා නෙමෙයි බස් එකේ ආවේ.. තාත්තිට රිද්දන්න ඕන හින්දා. හැබැයි මං එක දෙයක් තාත්තිට මතක් කිලා දීළා ආවේ. ඒ තාත්ති ළග තියෙන සල්ලි දේපල එයාගේ විතරක් නෙමෙයි කියනෙක.. එතන මගේ රත්තරං අම්මගේ දේවලුත් තියෙනවා කියලා මං මතක් කරලා දුන්නා. මං අද මෙහෙම කාලකන්නියෙක් වගේ තනිවෙලා කියලා මගේ අම්මා දන්නවා නම්, එයා මේ ලෝකෙ කොයි මුල්ලක  හිටියත් මේ ලෝකෙ කොයි මුල්ලක හිටියත් මාව හොයාගෙන එනවා කියලා මං දන්නවා.."

මෙච්චර වෙලා ෆිට් එකේ කතාකරන් ගියපු මගේ කටහඩ බිදිලා ගියා. අම්මෙක්ගෙ ආදරේකට හූල්ලන සොදුරුම සොදුරු කදුළු බිංදුවක් මගේ ඇස් උඩම නතර වෙලා තිබුණා.

"උඹ ඔය ගැන වැඩිය හිතන්නෙ නැතුව ඉදපං.. හිත හිතා, හිත රිද්දගන්නකොට දුක වැඩියි.. කවුරු නැතිවුනත් මං උඹට ඉන්නවනේ. උඹ කියනවා වගේ එදා වගේම අදත් මං ෆිට්. අපි හිත හදාගෙන ඉස්සරහට මූණ දෙමු. උඹ ඕනේ තරම් කාලයක් මං ගාව ඉදපං. අපේ ගෙදර කාගෙන්වත් ඒකට බාධාවක් නෑ. උඹ ඉන්නෙක මගේ හිතටත් සංතෝස හිතෙන දෙයක් අනගි. උඹ දැක්කමත්  හිත පිරෙනවා.."

එක හුස්මට නවෝදි කියවන් යද්දි ඒ හැම වචනයක්ම මගේ පපුව ඇතුලට රිංගුවා. ඇස් දෙකේම කදුළු පිරිලා තියෙද්දි මං ඒකි දිහා බලලා හිනාවෙන්න උත්සාහ කරේ ඒකයි.. එතනින් එයාට හුග වෙලාවක් යනකන් අපි අතරේ කතාවක් බහක් ඇතිබුණේ නෑ.. නවෝදිමයි අන්තිමට ඒ නිහැඩියාව බින්දෙ..

"උඹේ හිතේ කවුරුහරි ඉන්නවද..?"

නවෝදි එහෙම ඇහුවෙ බිම බලාගෙන වුණත් හරි උත්තරේ ලැබෙනකං බලන් ඉන්නවා කියනෙක මට තේරුණා. ඒකි ඒ දේ අහපු තාලෙට මට හිනාවක් ආවා..

"හික්ස්... උඹ ඇහුවෙ කෙල්ලෙක් ගැනනේ...?"

"ඔව්...."

"මගේ ලෝකෙ ඉන්නෙ ගෑණු දෙන්නෙක් විතරයි. එක්කෙනෙක් මගේ හොදම යාළුවා උඹ වෙච්චි. අනිත් කෙනා මගේ අම්මා.. අම්මත්තෙක්ක තිබ්බ මගේ මතකෙ හරිම සුන්දරයි නවෝදි.. ඒවා මතක්වෙන  හැම වෙලාවකම මගේ හිත හිරවෙනවා.. තාත්තා මාව අම්මගෙන් උදුරගෙන අරන් ආපු දවස මට අද වගේ මතකයි.. තේරුමක් නැති වුණත් ඒ දවස මගේ හිත පුච්චලා දාපු දවසක්. අදටත් මං විදවනවා නවෝදි. තාත්තා මාව අරගෙන කාර් එකට නැග්ගා.. උඹ දන්නෙ නෑ. උඹ දන්නෙ නෑ මගේ අම්මගෙ මූණ මහා වේදනාවකින් විරූප වෙලා තිබුනා. මං ඇදන් හිටපු පරණ කලිසම් කොටයක් අම්මගෙ අතත් දෙකට ගුලිවෙලා තිබුණා. 'අනගි.. මගේ රත්තරං අම්මා' එත්තරයි කිව්වේ.. ඒ වචන තුන ගලක කෙටුව වගේ අදටත් මගේ හිතේ තියෙනවා.. හ්.. හ්.. හ්ග්.."

දුක රදවලා තියාගත්තු උපරිම සීමාවේ ඉදපු මගේ හිත පුපුරලා ගියා. ගින්දර වගේ ගිනියම් වෙච්ච කදුළු පේළී ගානක් මගේ කම්මුල් දිගේ කඩන් වැටුනා. ඒත් ඒ කදුළු නවත්තගන්නවත්, පිහිදාගන්නවත් ඕනෙකමක් මට තිබ්බෙ නෑ. ලක්ෂ වාරයක් හරි මේ හැමදේම කාටහරි කියලා මගේ හිත සන්සුන් කරගන්න ඕන කියන බලාපොරොත්තුවක් මගේ  හිතේ තිබ්බා. මං ඔලුව උස්සල බලද්දි නවෝදිගේ කම්මුල් දිගේ කදුළු ගලන හැටි මං දැක්කා.


"මට... මට අම්මව නැතිවෙලා යනවා කියලා හොදටම තේරුණේ මගේ කලිසම් කොටේ අතින් තදකරන් අම්මා අඩද්දි.. ඒක මහා පුදුම තරම් වේදනාවක්.. මට ඒක වචන වලින් විස්තර කරන්න බෑ..  මේ මගේ පපුව හාරලා බලපං.. මට හදවතක් කියලා එකක් නැතුව ඇති. අද මගේ අම්මා මේ ලංකාවේ කොහේවත් නෑ. මං දුරස් වුණාට පස්සෙ අම්මට ලංකාවේ ඉන්න එපා වුණා. උඹ දන්නවද..? අම්මගෙ ඇදුම් බෑග් එක එයාර්පෝට් එකේදි චෙක් කරනකොට මොනවද තිබ්බෙ කියලා.. මං ඇදපු ඇදුම් වගයක් නවෝදි.. අම්මගෙයි, තාත්තගෙයි තිබ්බ ප්‍රශ්න වලට තැලුණේ පොඩිවුණේ මම. ඒත් එයාලා දෙන්නා තව ටිකක් ඉවසුවා නම්...? අපිට කොයි තරම් සතුටෙන් ඉන්න තිබ්බද.."

පුංචි කාලේ ලස්සන අතීත මතකයන් එක්ක හිත තනිවෙද්දි තවත් කතා කරන්න තරම් දෙයක් මගේ හිතට ආවේ නෑ. අනිත්තෙක හිත ඇතුලෙ තියෙන ඔක්කොම දුක් කන්දරාව එළියට ආවහම, මුළු හිතම හිස්වෙන එකටත් මං කැමති වුණේ නෑ. පුංචි කාලෙකට හරි වද දෙන්න පුංචි දුකක් හිතෙ තියෙන්න ඕන
   
"අදටත් කවුරු හරි කෙනෙක් ඇදුමක් තුරුල් කරන් ඉන්නකොට මට අම්මව මතක් වෙනවා. ඒක හරිම වේදනාකාරී දෙයක්. උඹට මං මේ කියන ඒවා තේරෙනවා නේද..?"

මෙච්ච වෙලා මං ළග හිටපු නවෝදිගේ උරහිසට අතක් තියන ගමන් මං ඇහුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ ලොකු පසුතැවිල්ලක්.

"උඹ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මං කරනවා අනගි... උඹ තරම් හොද එකෙක් මගේ ජීවිතේට මට කොහේදිවත් හම්බ වෙලා නෑ. උඹට කවදාවත් වරදින්නෙ නෑ. මට ඒක විශ්වාසයි.."

"මං ගැන හැමදාම ඔහොම හිතපං නවෝදි.. ඒක මගේ හිතට ලොකු සතුටක්.. උඹ දන්නවද... උඹ දන්නවද.. මට පුළුවන් නම් මං අම්මව බලන්න යනවා. මට ආරන්චියි අම්මා මේ අවුරුද්ද අන්තිමට ලංකාවට එනවා කියලා. මට ඒ මූණ දැකලා මැරුණත් කමක් නෑ"

මගේ හිතේ තිබ්බෙ ලොකු බලාපොරොත්තුවක්. පුංචි කාලේ වෙන්වෙලා ගියපු තැන ඉදන්, අම්මත්තෙක්ක ආයෙමත් ජීවිතේ පටන් ගන්න මගේ හිතට හොදටම ඕනවෙලා තිබ්බා.. එතකොට මං කොයිතරම් රෑ වෙලා ගෙදර ආවත් ඇහැරගෙන බලන් ඉන්න, මං එනකන් කන්නෙ නැතුව බලාගනෙ ඉන්න අම්මා කෙනෙක් ගෙදර ඉන්නවා කියන එක ගැන හිතන්න  හිතන්න මගේ හිත සැහැල්ලු වුනා.

"මේ  හැමදේම උඹත් එක්ක කිව්වාම මගේ හිතේ තිබ්බ දුක අඩුවුණා නවෝදි... මට දැන් ටිකක් නිදාගන්න ඕන.. තවටිකක් රෑ වෙලා අපි කතාව නවත්තපු තැනින් පටන්ගමු.."

"එතකොට උඹ කන්නෙ නැද්ද..? අම්මි උයලත්නේ තියෙන්නේ"

"මම නැගිට්ටාම කන්නම් කෙල්ලේ. මං මෙහේ එද්දි මගදි ෂෝට් ඊට්ස් වගයක් ගිල්ලා.."

ඇදේ හාන්සි වෙන ගමන් මං කිව්වා.. මගේ ඔළුව යාන්තමට වගේ අතගානෙන නවෝදි කාමරෙන් එළියට ගියා. හුගක් දේවල් සිද්ධ වෙච්ච අද දවසෙ සිදුවීම් එකින් එක හිතේ පෙල ගැහෙද්දි ඇස් දෙක නිදිමතෙන් පියවෙනවා මට දැනුනා.



1 comment:

  1. අද තමා මුලින්ම බූඩි මේ පැත්තට ආවේ
    PDF එකක් විදිහට ගන්න පුලුවන් එකනම් මරු :)

    ReplyDelete