Tuesday, February 21, 2012

| සමාවෙන්න රත්තරනේ | යෞවන සමින්ද්‍ර රත්නායක |



ඉර අව්ව තරහටත් එක්ක වගේ මගේ මූණට එබෙද්දී, ගෙයින් එළියට බැහැපු ගමන් මං සනග්ලාස් දෙක දාගත්තා. දැන් ඉතින් අවුලක් නෑ. ඒත් ඉතින් අවුලක් නැත්තෙමත් නෑ. ගෙදර කවුරු හරි එළියට එබෙන්න කලින් මාරුවෙන එක ඇගට ගුණයි කියලා මට හිතුණා. සද්දෙ ඇහෙන හින්දම, ගේට්ටුව ගාව තිබ්බ TZR ටේල් බයික් එක තල්ලු කරගෙනම මං පාරට ආවා. ඊට පස්සෙයි මං පස්ස හැරිලා බැලුවේ.ත තාමත් අවුලක් නෑ. ඒ කියන්නෙ මං ගොඩ. තත්පරේට දෙකට බයික් එක ස්ටාර්ට කරගෙන වැලි කන්ද පාර දිගේ මං ඉස්සරහට ආවා. ආපු ස්පීඩ් එකෙන්ම ගත්තු හින්දා බයික් එකේ පස්ස රෝදෙ ලිස්සලා ගියත්, මං බයික් එක කන්ට්‍රෝල් කරගත්තා.

"මෙලහකට මොනවා වෙලාද දන්නෙ නෑ. බන්දලා දෙනකොටම ගේම ඉල්ලුවා නම් හරි... වැඩේ තියෙන්නේ බොඩි ගාඩ්ස්ලා හිටියොත් තමයි "

බයික් එකේ ස්පීඩ් එකටත් වැඩිය මගේ හිතේ සිතුවිලි පෙළ ගැහෙන්න ගත්තා. ඒ එක්කමයි මං දැක්කේ සුදු පාට හයිඑස් වෑන් එකක් ළගට වෙලා මග බලන් ඉන්න සජීවන්ව. වෑන් එක ඇතුළෙ සජීවන්ගේ ගැන්සිය කට කපලා පිරිලා ඉන්නවා මං දැක්කා.

"අනගි.. උඹ සෑහෙන්න පරක්කුයි.. මෙලහකට ඉරෝමිව බන්දලා දීලද දන්නෙ නෑ..."

මාව දැක්ක ගමන් සජීවන් කෑගැහුවා. ඌ සෑහෙන්න අවුල්වෙලා කියන එක මට තේරුනා.

"එහෙනම් ඉතින් වරාපිටිය ලොක්කා බත් කාලා ඉවරයි... උඹ දන්නෙ නෑ සජී.. කවදාවත් නැතුව අද ගෙදරින් පැනගන්න අමාරු වුණා. තාත්ති කොහොම හරි දැනගෙන මං මොකක් හරි බාල්දියක් අදින්නයි යන්නෙ කියලා. මුළු ගෙදරටම ගාඩ්. දෙයියත් ගාඩ් එකට දාලා. ඌටත් මොත්තයක් දාලා මං පැන්නා. හ්ම්... ඔන්න ඕක ස්ටාර්ට කරන් මගේ පස්සෙන් වරෙන්.. අපි ඉස්සෙල්ලා හොටෙල් එකට යමු.."

මං ඉස්සර වුණා. හොටෙල් එකට මං ඇතුල් වෙද්දි වෙඩින් එකකට ඕනෙ කරන පසුබිම හැම තැනම තියෙන හැටි මට පෙනුනා. ජීවිතේටවත් දැකලා නැති විවිධාකාර මිනිස්සු හෝටලය ගාව හිනාවෙවී හිටියා. දැන් හිනා වෙයල්ලකෝ.. තව ඩිංගකින් උඹලා ඔක්කොටම අඩන්න වේවි.. සජීවන් උගේ ගැන්සියත් එක්ක මගේ පිටිපස්සෙන්ම එනවා මං දැක්කා. බයික් එක නවත්තලා මං හෝටලයේ ඉස්සරහම දොරෙන් ඇතුල් වුණා. ටයි කෝට් වලින් පිළිවෙලකට කලාවකට ලෑස්ති වුණ මිනිස්සු වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතුව ඔහේ වාඩිවෙලා හිටියා.

"උඹට නම් ඉන්නෙ මාර ෆිට් බුවෙක් සජී.. පොර නැත්නම් උඹ, උඹේ ලව් එකෙන් නිතරගෙන් පරාද වෙන්නේ.."

සජීවන්ගෙ ගැන්සියෙ කොල්ලෙක්, සජීවන්ට එහෙම කියලා මාව පෙන්නනවා මං දැක්කා. ඒ වෙනකොට මං හොටලය ඇතුලටත් ඇවිත් ඉවරයි. ඒත් සජීවන්ගෙ පෙම්වතිය වෙච්චි ඉරෝමිව මං දැක්කෙ නෑ.

"අ... අපි පරක්කුද අනගි..?"

මගේ උරහිසට අතක් තියන ගමන් සජීවන් ඇහුවා. බලාපොරොත්තු කඩවීමේ වේදනාව ඒ මූණේ අපූරුවට සිත්තම් වෙලා තියෙනවා මං දැක්කා.

"ඩිංගක් ඉදපං බර පැණ දාන්නෙ නැතිව..."

හෝටලය ඇතුලේ මගේ ඉස්සරහම හිටියෙ මනාලියක් වගේ 
ලස්සට ඇද පැළද ගත්තු ඉරෝමි. මාව දැක්ක ගමන් එයා වාඩිවෙලා ඉදපු තැනින් නැගිට්ටා.

"මා....මාව බේරගන්න ඔයා වෙලාවට ආවා අනගි. අනේ කෝ සජීවන්.. එයා ආවෙ නැද්ද..?"

මගේ අතේ එල්ලිලා ඉරෝමි කෑගැහුවා.. මේකප් දාලා තිබ්බ ඒ සුදු මූණ දිගේ කදුළු බිංදු දෙකක් නිදහසේ ගලන් ගියා. ඉරෝමි අහපු දේ ඇහුණේ නෑ වගේ මං එයාගෙ අතින් අල්ලගෙන එතනින් ටිකක් ඉස්සරහට ආවා. ඒ වෙනකොට එතන තිබ්බ සන්සුන් බව දෙදරලා ගිහින් තිබුණා. සිද්ධ වෙන්න යන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව හුගක් අය නන්නත්තාර වෙලා බලාගෙන හිටියා. සජීවන්ව දැකපු ගමන් ඉරෝමි මගේ අත අතෑරලා ඌ ළගට දුවලා ගියා. ඒ දේවල් එහෙම වෙද්දී මං වටපිට බැලුවෙ ඉරෝමිගෙ තාත්තා 'වරකපිටියව' හොයන්න.

"මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ..? තමුසෙලා කවුද..? තමුසෙලට මොනවද ඕන කරන්නේ..?"

මනමාලයා කියලා හිතාගන්න පුළුවන් තරුණ පහේ පුද්ගලයෙක් මං ඉස්සරහට පැන්නා. මිනිහගේ බයවෙලා වගේ තිබ්බ මූණ දැක්කාම මට නිකම්ම හිනාවක් ගියා. ඒ හිනාවෙන්මයි මං මිනිහව පැත්තකට තල්ලු කරලා දැම්මේ.

"සිද්ධවෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසෙ තොත්ත බබෙක් නෙමේනේ... තමුසෙට මේ කෙල්ලව බදින්න පුළුවන් එයාගෙ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්දෙද්දි බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමයි වැදගත්ම දේ"

මං බයවෙලා තියෙන මිනිහගෙ මූණ ඉස්සරහට දබරැගිල්ල උරුක් කලා.

"අනිත් එක තමයි මේ ගෑණු ලමයා යාළුවෙලා ඉන්නෙ මගේ යාළුවත් එක්ක. මේ ඒරියා එකේ ඕන පොලිස් ස්ටේෂන් එකකින් අහනවා 'අනගි රඹුක්වැල්ල' කියන්නෙ කවුද කියලා. දැන් ඉතින් පව් නොදී අයින් වෙනවා. මේ කෙල්ලව බදින්න තමුසෙට හීනෙන්වත් බෑ යාළුවා.."

වෙඩින් එකට ආපු හැමෝම මූණෙන් මූණ බලන් හිටියා මිසක වැඩිය උඩ පනින්න ආවෙ නෑ. ඒක හින්දම මං සජීවන්ලත් එක්ක වැඩි කරදරයක් නැතුව හෝටලයෙන් එළියට ආවා. එතකොට තමයි මං දැක්කෙ හතර වටින්ම අපිව වටකරලා කියලා. අවුලක් නෑ... වලි නම් වලි.. ෂේප් නම් ඒත් වලි.

"අඩෝ මේ...? උඹලා හිතන තරම් ලේසියෙන් කෙල්ලෝ 
උස්සන්න පුළුවන් නම් මේක උඹලට ගියපු රටක්ද ඩෝ...? තොපිට අන්තිම හොදින් කියන්නේ... හොදට තියෙන අතපය තලාගන්නෙ නැතුව ඔය ගෑනු දරුවව අපිට දීලා ගියා නම් හොදයි..."

සජීවන් ඉස්සරහට ආපු මූණ පුරාම රැවුල වවාගත්තු හයේ හතරෙ පොරක් මහ සද්දෙට කිව්වා. ඉරෝමි තවත් හයියෙන් සජීවන්ගේ අතේ එල්ලෙද්දී, තඩියගේ මූණ මං දිහාට හැරුණා. ඒ කියන්නෙ ගේම පටන්ගන්න වෙනවා.

"උඹ ගවනර්ද ඩෝ... මේ කෙල්ලව උඹට දීලා යන්න... ඇගපත තියාගෙන කයිය ගහලා වැඩක් නෑ.. වැඩත් ඕන තේරුනානේ..?" 

සජීවන් පැත්තකට තල්ලු කරලා දාලා මහං මැද්දට පැන්නා. මේ වගේ අවස්ථාවලට මං ඕනවටත් වැඩිය මීට කලින් මූණ දීලා තිබුනා. ඒත් ඒ විත්තිය මේ ඉස්සරහා ඉන්න තඩියා දන්නෙ නෑ නේ. උගේ ඇස් දෙක තිබ්බෙ මගේ මූණෙමයි. ඒ ඇස් වෙනස් වෙද්දී, ඌ ගේම පටන් ගන්න හදනවා කියනෙක මට තේරුණා. ඒත් ඊට කලින් මං ඉස්සර වුණා. හුගාක් වෙලාවට මට පුරුදු රවුම් පා පහර මං උගේ පපුව මැද්දටම එල්ල කලා. හැරිල බලන්නෙ නැතුවම මං ප්‍රතිපලේ දැනගෙන හිටියා. මිනිහා නැගිට්ටෙ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදලා දුවගෙන ආපු ඉරෝමිගෙ තාත්තා අනිත් මැරයො ටික කුලප්පු කරා. ඒත් මිනිහට ඒක හරියට කරගන්න හම්බවුනේ නෑ.

"අපේ බේබි මහත්තයට අතක් උස්සලා තිබ්බොත් තොපි ඔක්කොම කට්ට සම්බෝල කරනවා. තොපි දන්නවද මේ ඉන්නේ කවුද කියලා...?"

මටවෙලා ඉදපු මිනිස්සුත් තල්ලුකරගෙන, එහෙම කියාගෙන මං ඉස්සරහට ආපු එකාව දැකලා මට පුදුම හිතුණා. මූ කොහොමද මං ඉන්න තැන හොයාගත්තේ..? මං ළගටම ආපු 'දෙයියා' මගේ අතින් අල්ලා ගත්තා. මූට හොරෙන් ගේමකට බහින එක සෑහෙන අමාරු වැඩක්. මං කොහෙද මූත් එතන. දෙයියා කිව්වෙ මගේ දුකට සැපට මං ළගම ඉන්න රත්තරන් මනුස්සයෙක්. දෙයියා අපේ ගෙදරමයි නැවතිලා හිටියෙ. දෙයියගෙ උප්පැන්නෙ තියෙන්නෙ වෙන නමක් උනත් අපි එයාට කතා කලේ දෙයියා කියලා.

"දැනගනියව්... මේ තමයි රඹුකවැල්ල මන්ත්‍රීතුමාගෙ එකම පුතා.. වන් ඇන්ඩ් ඔන්ලි.. තොපි මැරෙන්න කැමති විදිය ලියලා තියලා අපේ බේබි මහත්තය ඉස්සරහට වරෙල්ලා"

දෙයියො ඒ ටික කිව්වා විතරයි මාව වටකරන් ඉදපු ගැන්සියට කරන්ට් වැදුනා වගේ වුණා. පොරවල් ටික තත්පරේට දෙකට එහෙට මෙහෙට වුනා. තාත්ති ගැන කටින් කට ගිහිල්ලා තිබ්බ කට කතාත් ඒ කරන්ට් එකට සෑහෙන්න බලපාන්න ඇති කියලා මට හිතුනා. ඒත් මගේ හිතේ උතුරලා ගියේ මටවත් හිගාගන්න බැරි කේන්තියක්. අබ දැම්මත් පුපුරලා යන සයිස් එකට මගේ මූණ කේන්තියෙන් උතුරලා ගියා. ඒ මූඩ් එකෙන්ම මම ඉරෝමිගෙ තාත්තා දිහා බැලුවා. මගේ බැල්ම දරාගන්න බැරිවද කොහෙද මිනිහා බිම බලාගත්තා. ඒත් ඒ ඩිංග වෙලාවට විතරයි. මිනිහා ආයෙමත් ඔළුව උස්සලා මා දිහා බැලුවා. බොහොම පරිස්සමෙන් වචන තෝරලා බේරලා කතා කරන්න මිනිහා ලොකු උත්සාහයක් ගත්තා.

"මේ... මෙච්චර කලබලයක් කරන්න ඕනෙ නෑනේ මහත්තයා.. බ.. බලන්න මට වෙච්ච ලැජ්ජාව.. මං කොහොමද රටේ ලෝකෙ මිනිස්සුන්ට මුහුණ දෙන්නෙ.. මගේ දුවව මට ඕන කෙනෙක්ට බන්දලා දෙන්න මට බැරිද...?"

 "ලෝකෙට මූණ දෙන නොදෙන එක මිස්ටර්ගෙ වැඩක්.. තමන්ගෙ දුව වුණත් බලෙන් බන්දල දෙන එක මට දිරවන්නෙ නෑ. මේ බලනව මිස්ටර්.. මේ ඉන්නෙ මගේ හොදම යාළුවෙක්.. මෙයත් එක්ක තමයි ඉරෝමි යාලුවෙලා ඉන්නේ.. ඒක එහෙම වෙලා තියෙද්දී මිස්ටර් කලර්ස් දාන එකනේ මට අල්ලන්නෙ නැත්තේ..."

මං සජීවන්ගෙ අතින් ඇදලා වරාපිටිය ඉස්සරහට තල්ලු කරා.

"බන්දලා දෙනවා නම් බන්දලා දෙනවා මෙන්න මේ දෙන්නව.... තමුසෙගෙ දූ අර මළ යකාව බැන්දහම මිනිහත් එක්ක ජීවත් වෙන්නෙ තමුසෙද..? ඌ මොන වගේ එකෙක්ද කියලා ඉරෝමි නිකන්වත් දන්නවද..? තමුසෙගෙ තදියමට මේ කෙල්ලව බන්දලා දීලා හරියන්නෙ නෑ මිස්ටර්. මං කියපුවා හොදට තේරුනා නේ. දැන් ඉතින් මෙතන බස්සා වගේ බලන් ඉන්නෙ නැතුව ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා.. ඉරෝමි ඔයත් ගෙදර යන්න සජීවන් හෙට අනිද්දා දිහාට ඇවිත් වෙඩින් එක ගැන කතා කරාවී.. දැන් මේ වෙඩින් එක ක්ලෝස්.. ආයේ ස්ටාර්ට් නෑ හරිද...?" 

මං කතාව ඉවර කලා. වරාපිටියගෙ මූණෙ තිබුනෙ මාව පුච්චලා දාන්න පුළුවන් තරමේ ගින්දරක්. ඒත් කරගන්න දෙයක් නැතිකමට මිනිහා සද්ද වහගෙන හිටියා. මේ වෙච්ච ලැජ්ජාවටයි, කාපු පරිප්පුවටයි මිනිහා මගෙන් පළිගන්නවා කියන එක මම ඒ මූණෙන් දැක්කා. ඒත් ජීවන් වගේ හොද කොල්ලෙක් වෙනුවෙන් ඊට වැඩිය හොද දේවල් වලට වුණත් මූණ දෙන්න පුළුවන් තරමේ ලොකු ආත්ම ශක්තියක් මට තිබුනා. වරාපිටියයි, මිනිහගෙ චක් ගෝලයෝ වෙඩින් එකට ආපු මිනිස්සුයි කට ඇරගෙන බලන් ඉන්දෙද්දි මං සජීවන්ලත් එක්ක බයික් 
එක ළගට ආවා...

"ෂිහ්... මට අර හඩ්ඩො හතර පස්දෙනාට හොදට නෙලන්න තිබ්බා.. කොහෙද දෙයියා පැන්නනෙ තාත්තිගෙ වරුනෙත් කියාගෙන.."

බයික් එකට නගින ගමන් මං දෙයියට බැන්නා. දෙයියගෙ මූණ මැද පිපුණෙ ලොකු හිනාවක්.

"මගේ ජීවිතේ මට හම්බවුනු ලොකුම උදව්ව මේකයි අනගි.. උඹට කොහොම තෑන්කස් කරන්නද මන්දා.. උඹ මං ගාව ඉන්නවා කියනෙක මගේ හිතට මාර ෆිට් එකක්..."

සජීවන් ඇවිත් මගේ අත බදාගත්තා...

"ඒක අමතක කරලා දාපං සජී.. හොද එකා වගේ මේ සතියෙම වරාපිටිය හම්බවෙන්න ගිහින් වෙඩින් එක ගැන කතා කරගනින්... ඌ දිගටම අකමැති වුනොත් අපි ඉරෝමිව උස්සමු. කතන්දරේ ඉවරනේ.. හැබැයි ඕකා විශ්වාස කරන්න බැරි දෙපත් නයෙක්.. උඹ පරිස්සමි වෙයන්.."

"ඒක තමයි අනගි අපිත් බැලුවේ.. පුළුවන් තරම් ඉක්මනට මුගෙයි ඉරෝමිගෙයි වැඩේ කරලා දැම්මා නම් ඉවරයි.. වරාපිටිය කාරයා මොනාවා කරන්න හිතන් ඉන්නවද කියලා දන්නෙ නෑ නේ.."

"ඒවා ගැන උඹලා බය වෙන්න එපා.. ඌ සජීවන්ට අතක් උස්සලා තිබ්බොත් ඉතින් සොරිම තමයි.. මාමණ්ඩි වුණාට කරන්න දෙයක් නෑ සජී.. මිනිහා ක්ලෝස්.. එහෙනම් දෙයියා අපි යමුද..?"

බයික් එක ස්ටාර්ට් කරලා දෙයියගෙ මූණ දිහා මං බැලුවා. දෙයියා පට ගාලා බයික් එකට නැග්ගා.

"ඔන්න ඔක්කොටම යන්නම් කිව්වා... සජී මගේ මොබයිල් ෆෝන් එකට කතා කරපං.. විස්තර එක්ක.."

කට්ටිය උගෙන් වෙන්වෙලා ගියා. මායි, දෙයියයි ගෙදර එන්න පිටත් වුණා. ඒත් හුගාක් දුර එනකන් දෙයියා වචනයක් කතා කලේ නෑ.

"මොකෝ දෙයියා සයිලන්ස්"

"මේ කරන වැඩ වලින් ලොකු මහත්තයටත් නරක නාමේ. එනවා බේබි මහත්තයෝ මේවයින් ඩිංගක් ඈත් වෙනවා නම් තමයි හොද"

"දෙයියා මට කියන්නෙ යාළුවෙකුට උදව් නොකර ඉන්න කියලද..?  පව්.. ඌ අහිංසක කොල්ලෙක්.. මට පණ වුණත් දෙයි.. අනික මට අර වරාපිටිය කාරයගෙ පඩ ෂෝ එක දිරවන්නෙම නෑ" 

මං කිව්ව දේට දෙයියා මුකුත්ම කිව්වෙ නෑ. ගෙදර ඉස්සරහා ලොකු යකඩ ගේට්ටුවෙන් ඇතුළට බයික් එක දාලා පෝටිකෝව යටට ආපු ගමන් දෙයියගෙ කටට පණ ආවා.

"හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා වගේ බේබි මහත්තයා"

"ඇයි....??"

"ඇයි අහන්නේ.. ලොකු මහත්තයා අර සාලේ කැරකෙන තාලෙන් හිතාගතහැකි මොනවද වෙලා තියෙන්නෙ කියලා.."

සන්ග්ලාස් දෙක ගලවලා දෙයියගෙ අතට දෙන ගමන් මම ගෙට ඇතුල් වුනා.

"අනගි.... ඔහොම නවතිනවා.."

තාත්තට හුරු පුරුදු, ගොරෝසු, ගාම්භීර කටහඩින් මුළු සාලෙම දෙදරලා ගියා. ඒත් ඒක අදාලා වුණේ සාලෙට විතරයි. මං එක සීරුවට තාත්තා දිහා බැලුවා.

"මේ ඔයා කරන නොසන්ඩාල වැඩ වලින් මටත් පාරෙ බැහැලා යන්න බෑ.. ඔයා මොන එහෙකටද අර වරාපිටිය මහත්තයගෙ දූගේ වෙඩින් එක මැද්දට පැන්නේ.. අද උදේ ඔය යනකොට මං දැනගත්තා මොකක් හරි ජල්ලියක් අල්ලන්න තමයි යන්නෙ කියලා... 
ඇත්තටම ඔයාට හැදිච්චකමක් කියලා දෙයක් ඩිංගක්වත් නැද්ද 
අනගි..?"

දෙයියො කිව්වා වගේ හැරෙන තැපෑලෙන් වැඩේ පත්තු වෙලා තිබුණා. තාත්තා බුම්මලවරම අතට ගත්තු කපුවා වගේ ආවේස වෙලා.

"මං කෙරුවෙ හරි දෙයක් තාත්ති.. එතෙන්ට දෙන්න තිබ්බ හොදම උත්තරේ ඒක තමයි"

"ඒ මනුස්සයට සෙනග කන්දරාවක් මැද්දෙ ලැජ්ජ කරලා.. ඔයා චිත්‍රපටිවල වගේ වීරයකෙ චරිතෙ රගපාලා.. තව මෙතන කරපු දේ හරිය කියල කියන්නත් එනවද අනගි...? කතා කරනවා.."

තාත්තා අද එන්නෙම හරහට කියලා තේරුණ නිසා මං දෙයියා දිහා බැලුවා. ඇගිල්ලක් කට මැද්දට තියලා කතා කරන්න එපා ඉගිය දෙයියා මට දුන්නා. ඒත් තාත්ති ඉස්සර සද්ද වහලා ඉන්න තරම් මානසික තත්වයක් ඒ වෙලාවේ මට තිබ්බේ නෑ. ඒ දේ දෙයියත් තේරුම් ගන්න ඇති. මොකද අද වෙනකන් සිද්ධ වෙච්ච හැම සිද්ධීයකදීම වගේ තාත්තිව නක්ට්‍රෝල් කරන්න දෙයියට පුළුවන් උනත් මාව කන්ට්‍රෝල් කරන්න දෙයියට බැරි වුනා. ඒකමයි මේ වෙලාවේ දෙයියා මගේ ලගට ආවෙ නැත්තේ.

"අනිත්තෙක තමයි ඔයා දන්නෙ නැතිවුණාට වරාපිටිය කියන්නෙ මගේ ළගම හිතවතෙක්.. අපේ පක්ෂෙ හොදම සපෝටර් කෙකේ.. මාව දිනවන්න වැඩියම දරදිය ඇද්දෙ ඒ මිනිහා.. ඔයා ඔය කරපු වැඩෙන් මං කොහොමද වරාපිටියගෙ මූණ බලන්නේ. ඊලග ඉලෙක්ෂන් එකේදි වරාපිටිය මාව අතාරින එක ගැන අහන්න දෙයක් නෑ. ඔයා අද හවසම ගිහින් වරාපිටියගෙන් සමාව ගන්න ඕන"

තාත්තා කියන් ගිය දේවල් වලට මට හිනාවක් ආවා.. ඒ හිනාව මැද්දෙන් ඉබේටම වගේ මගේ ඔළුව ඩිංගක් ගැස්සුනා. මොනවා හරි දේකට මං එකග වෙන්නැති වෙනකොට ඉබේම වගේ සිද්ධ වෙන ඒ දේ ගැන තාත්තා වගේම දෙයියත් හොදින් දැනගෙන හිටියා.

"සමාව ගන්න.. මේ මම...? පාර්ලිමන්ට් එකේවත් කතා කරන්නෙ නැති වචන මෙතනට එපා තාත්ති.. කාට කොන්දක් නැති වුණත් මට කොන්දක් තියෙනවා. මං තියා මගේ බල්ලවත් වරාපිටිය ළගට යන්නෙ නෑ. යතොත් යන්නෙ ඌට තව දෙක තුනක් අනින්න."

"අනගි.."

තාත්තගෙ කටහඩ මහා සද්දෙට මගේ කණ ගාවින්ම ඇහුණා. ඒ සද්දෙට දෙයියා ගැස්සිලා ගියා. ගේ ඇතුලේ ඉදපු ප්‍රයිවට් සිකියුරිටි පොරවල් ටිකත් සාලෙට එබිලා බලනවා මං දැක්කා.

"මා...මාව කේන්ති ගස්සන්න එපා අනගි.. මං මේ අන්තිම වතාවට හොදින් කියන්නේ.. මගේ ඉවසීම පරික්ෂා කරන්න එපා.. හ්ම්.. දැනට ඔය කතාව නවත්තලා දාමු. ඔයිට වැඩිය වැදගත් කතාවක් මට ඔයත්තෙක්ක කතාබහ කරන්න තියෙනවා"

තාත්තගෙ මූණේ උතුරලා ගියපු කේන්තිය බොහොම අමාරුවෙන් හංගගෙන තාත්තා කතා කරා. ඒත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ. මං ගැන, අකීකරු පුතෙක් විදියට තාත්තාගේ හිතේ ඇතිවෙලා තියෙන හැගීම අයින් කරන්න මට කිසිම ඕනකමත් තිබ්බෙ නෑ. ඒ ඕනෑ නැතිකම තේරුම් අරගෙන දේශපාලකයන්ගෙ නියම ගතිය දාලා තාත්තා කතාවේ පීල්ල මාරු කරා. ඒත් තවත් කියන්න දේවල් ටිකක් මටත් තිබුණා.

"තාත්තිමයි කතාව පටන් ගත්තේ.. මම නෙමෙයි.. ඉතින් ඒක තාත්තිම නවත්තපු එක හුගක් හොදයි. මොකද මටත් ඒ කරන් ගියපු කතාව දිරවන්නෙ නෑ.. හොදයි දැන් මොකක්ද ඔය අනිත් වැදගත් කතාව..?"   

"මං ඔයාට බදුල්ලෙ එම්.පී.ගෙ දුවව කතා කරලයි තියෙන්නේ. අපි එහේ යන්න දවසක් දාගන්න ඕනේ.. ඔයාට කවදද ලේසි..?"  

"ඔය සබ්ජෙක්ට් එක නම් මට ඒ තරම් වැදගත් නෑ තාත්ති.."

මං කිව්ව දෙයින් මෙච්චර වෙලා බලෙන් ආරූඪ වෙලා ඉදපු සන්සුන් බව තාත්තගෙ මූණෙන් ගව් ගානක් ඈතට ගියා.

"එහෙනම් මටද මිනිහෝ ඒක වැදගත්...?"        

"තාත්තිට වැදගත් හිනදනේ යෝජනාව කෙරුවේ. මගේ හිතට හරියන කෙල්ලව හම්බවුන දාට මං තාත්තිට කියන්නම්. නැතුව මේ පක්ෂෙට නාමයෝජනා බාරදෙනවා වගේ තැන තැන කාලකන්නි වෙච්ච ගෑණුන්ව මගේ කරේ ගහන්න එපා.."     

තාත්තගෙ මූණ තද දම්පාටට හැරුනා. ඒ කියන්නෙ තාත්තිට ආයෙ මළ පනින්න දෙයක් නෑ. මේ තමයි උපරිමය. දැන් ඉතින් මොනවයි මොනවා වේවිද කියලා හිතන්න මට පුළුවන්කමක් තිබ්බෙ නෑ.

"උඹට ඕන විදියට නටන්න මෙතන ඉඩ දෙන්න බෑ අනගි.. උඹ ඉන්න ඕන මං කියන විදියට. නැතුව උඹට ඕන විදියට නෙමේ.. තේරුණා නේ.. උඹට ඕන විදියට ඉන්න නම් මෙතනින් එළියට ගිහිල්ලා එහෙම ඉන්න පුළුවන්.. හැබැයි මේ ගේ ඇතුලෙදි නම් නෙමෙයි."

තාත්තා ඒ කිව්ව දේ ඇත්තටමද කියලා තේරුම් ගන්න මං ඒ මූණ දිහා බලන් හිටියා. කේන්තියක මං සලකුණු මිසක වෙන කිසිම දෙයක් මං දැක්කෙ නෑ. ඒ හදවත උඩින් මවහත් පිහිතලයක් ඇදිල යද්දි දැනෙන වේදනාව මට දැනුනා. ඒ වේදනාව පිටින්ම මං ලොකු තීරණයක් ගත්තා.

"ඒ.. ඒ කිව්වේ මට යන්න කියලා නේද...? තාත්ති.. ඔව් කියපු දේ හරි.. හිතට එකග නැතුව මේ මාළිගාවේ ඉන්නවට වැඩිය හිතේ ෆිට් එකක් ඇතුව මෙතනින් අයින්වෙලා යන එක මටත් ලොකු දෙයක්.. මං දැනන් හිටියා තාත්ති කවදා හරි අන්තිමට ඔතනට තමයි එන්නෙ කියලා.."

"උඹ කැමති විදියකට හිතාගනින් අනගි.. මම දුන්නෙ මගේ තීරනේ. මගේ වචන වලට උඩින් යන එකෙක් මං ගාව තියාගෙන මට වැඩක් නෑ. ඒක ට කවදා හරි අවාසි සහගත වෙන්න පුළුවන්.."  

"තාත්ති හැමදේම තීරණය කරන්නෙ දේශපාලනය අනුව.. කමක් නෑ.. තාත්තිගෙ තීරණේ ඕන නම් මං මගේ තිරණෙත් ගන්න ඕනනේ.." 

තාත්තිගෙ මූණටම කියලා මගේ මගේ කාමරේට ආවා. බිත්ති කබර්ඩ් එක උඩ තිබ්බ ලොකු ට්‍රැලින් බෑග් එක අරන් අතට අහුවෙච්ච අහුවෙච්ච ඇදුම් ටික මං ඒක ඇතුලට එබුවා. බෑග් එකත් අරගෙන මං සාලෙට යනකොට තාත්තයි, දෙයියයි මූණෙන් මූණ බලන් ගල් ගිල්ලා වගේ හිටියා.

" බේබි මහත්තයා මොනවද මේ කරන්නේ...? ගෙදරින් යන්න තරම් දෙයක් මෙතන වුණේ නෑ නේ.. දෙයියනේ...!!! තව ඩිංගක් ඉවසමු මහත්තයෝ..."

දෙයියා ඇවිත් මගේ අතේ එල්ලුනා.. තීරණයක් ගත්තාම ඒක හරි වුනත්, වැරදි වුනත් ඒ තීරණේ වෙනස් කරන්නෙ නැති පුරුද්දක් පුංචි කාලේ ඉදලම මං ගාව තිබුනා.. දෙයියා උනත් ඒක දන්නවා..

"බෑ දෙයියා.. මෙච්චර දවසකුත් මං ඉවසන් හිටියෙ හුගාක් අමාරුවෙන්.. අද ඒක පුපුරලා ගියා. ඒ පුපුරපු දේවල් වලට මගේ හිතත් අයිතියි. පුපුරපු හිතත් එක්ක ඒක පුපුරවපු අයත් එක්ක මට මෙහේ ඉන්න බෑනේ... අන්න  හරි බෑ තමයි... උඹවත් මං ගැන තේරුම් ගනින්.. මගේ රත්තරං අම්මිවත් මට නැතිවුනේ තාත්තිගේ දේශපාලනේ හින්දා. ඒ දේම තාත්තිට මාවත් නැතිකරන්නයි හදන්නේ."

"අනගි... මෙතනට අම්මා ගැන අදින්න එපා.."

තාත්තිගෙ දුර්වලම තැන තියෙන්නෙ කොහෙද කියලා මම දැනගෙන හිටියා. හොදටම දැනගෙන හිටියා. එතෙන්ට පහර දීළා තාත්තිව කොයිතරම් රිද්දන්න පුළුවන් වගේම වට්ටන්නත් පුළුවන් කියලා මං දැනගෙන හිටියා. ඒත් අද මට ඕන වුනේ ඒ දෙකම නෙමෙයි.

"අම්මි ගැන මං අදින්නෙ නෑ තාත්ති. ඒත් අම්මි ගැන හැම මතකයක්ම මගේ හිත ඇතුලේ හැමදාටම හැංගිලා තියෙනවා.. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. ඒත් ඔය හඩු ගද ගහන දේශපාලනේ කරලා වීරයෙක් වෙනවට වැඩිය මගේ අම්මිව, තාත්තිගේ කසාද ගෑනිව මේ ගෙදරට ගෙනැල්ලා මනුස්සයෙක් වෙන්න බලනවා නම්, අන්න ඒ දේ රත්තරං වටිනවා.. මං යනවා...."

වදින්න ඕන හොදම තැනට මම පහර දීලා තිබුනා. ඒ වැදිච්ච පාරේ සැරකටම තාත්ති ලොකු සැටියේ වාඩි වුනා. මාපටැගිල්ලයි, මැද ඇගිල්ලයි අරන් නලල දෙපැත්ත හයියෙන් මිරිකගන්න ගමන් තාත්ති මං දිහා බැලුවා. ඒත් ඒ වෙනකොට මං ට්‍රැවලින් බෑග් එක අරන් ගේ ඉස්සරහා පඩිපලෙත් බැහැලා ඉවරයි..

"මගේ පුතා මාව තේරුම් ගත්තෙ නෑ දෙයියා.. කමක් නෑ.. කේන්තිය නිවිලා ගියහම ආයෙත් ඒවි.. මාත් කතා කෙරුවා වැරදියි.. මොන දේටත් දැන් මගේ කියලා ඉන්නෙ එච්චරයි.. ඒ දේ නැතිකරගන්න මට බෑ"     



2 comments:

  1. ammma maru podi godakama l;assani podi....good luck...

    ReplyDelete
  2. මචන්ග්.. මම Facebook 1එ මේ බ්ලොග් 1එ ලින්ක් 1අ ලාවට දැකලා කනාවට click කරා.. පලවෙනි කොටස කියවනකොටම මට මාර විදිහට ආස හිතුනා අව්රුදු ගානකට පස්සෙ කියවපු ලස්සනම කතාවක් .. මට මෙකේ 15ස් වෙනි කොටස පටන් ගද්දි උබ දාලා තිබ්බ අද අවසන් කොටස කියන කෑල්ල කියවනකොට ගොඩාක් දුක හිතුන..මෙකෙ මට කියවන්න අමරුම වචන ටික උනෙ ෴සමාප්තයි෴ කියල දාලා තිබුන කොටස.. උබ තව ටිකක් මේ කතාව ලිව්වනම් මරු.. කොහොම උනත් පොඩි අඩු පාඩුත් තිබුනා.. ;) එත් නියම කතාවක්.. තවත් මේ වගේ කතා ගොඩක් ලියපන්.. ජය..

    ReplyDelete